Monday, August 29, 2016

කැමති විදිහකට හිතාගත්ත හැකිනේ බලං යනකොට....

පිකාසොගේ චිත්‍රයක් දිහා බලාගෙන ඇස් උඩ ඉන්දගෙන කල්පනා කරන මිනිස්සු අතරේ ඉන්දියාවේ "බිම්බෙක්ටා" ගල් පියස්සේ බයිසන් ගවයා ඇන්දේ මගෙ දෝණි වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් චිත්‍රයක් අදින හෝ  කුරුටු ගාන පොඩි එකෙක් නොවේදැයි හිතන මනසකින් මම පොහොසත්.
එහෙම හිතන මට හඳේ ආවාට අස්සේ දිග කන් තියෙන දම්පාට හාවෙක් පේන එකේ පුදුමයක් නැ කියලයි මං හිතන්නේ. එහෙම හිතන මට මර්වින් පෙරේරා ශුරින් ගායනා කළ සඳ මිදුලට එනවා  ගීතය ගායනා  වෙන්නේ ඔය හඳේ හාවිට කියලා හිතෙන එක , එහෙම බැලුවම කොහොමටත් පුදුමයක් නෙවෙයි. (හරි ඉතිං මෙයාට පිස්සු කිව්වට , බුදු හාමුදුරුවෝ දේශනා කලේ නානත්ත කායෝ නානත්ත සංඤා කියලා නේ..." ) ආවා මෙතන මට පිස්සු කියන්න  :)
ඉතිං ඔන්න ඔහොම මට ලියන්න හිතුනේ මං ලියපු සමහර ලියවිලි වලට  ඔබ දෙන අර්ථ නිරූපණ වෙලාවකට මාව පුදුම කරවන හින්දා වගේම ඒ අර්ථයන් මං පුදුම විදිහට රස විදින නිසා.
මම ලියපු ඔබ වෙනස්ම විදිහට විදපු නිර්මාණ කීපයක් ගැන මට හිතුනා කතා කරන්න . මේ ඉන් එකක්
හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

මේ කියවෙන සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට

කියන වචන වලින් ඇත්තටම මම කතා කලේ ඇසේ හැඩය හෙවත් U නළයක හැඩය..  ඇස කෙමියෙන් කදුළු උනනවා වගේ අසමාන බාහු සහිත U නළාකාර නළ පද්දතියකින් අදටත් ක්‍රියාත්මක වන සීගිරියෙ වතුර මල් හෙවත් Fountain system එක ගැන.  පාරිසරික සාධක වලින් අඩපණ වන මුත් යලිත් පණ ගැහෙන විශ්වකර්ම නිර්මාණයක් ගැන.

ආදරය ප්‍රකාශ වෙන්නේ වචන වලින් විතරමද...... ආදරය දැනෙන්නේ සතා සිව්පාවට විතරමද....
ගහ කොළට - කොන්ක්‍රීට් වලට ඒ ආදරේ දැනෙන්නේ නැ නෑ මද......??

කථා කරන්න රණ්ඩුවෙන්න බැරි නිසොල්මනේ ඔහේ ඉන්න ඔය හැමෝටම පේන අජීවී ඇත්තෝ මට හරිම සජීවීව දැනෙනවා... ඒ කතන්දර මට ඇහෙනවා 
ඒ නිසාමයි මෙහෙම ලියවුනේ 
නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

මේ ලියවෙන්නේ උඩවළව ජලාශය ගැන.... 
ඇත්තටම මුහුදක් කියන්නේ හිත නිවාගන්න ඔසුවක් තරමට මට දැනෙන දෙයක්... මං මුහුදට මහ ගොඩක් ආදරෙයි.... එත් සුනාමිය ඇවිත් කරපු වින්නැහිය හින්දම මුහුදක් ලගින් යන්නත් බයයි..... එත් මං ආදරෙයි... එහෙම මට උඩවළව පේන්නෙත් මහ මුහුදක් වගේ.... ඒ ලස්සන දිය කද ජිවිත වාහන පිටින් ගිලගත්තු බව ඇහුවම මං ආයෙත් අතරමන් උනා හරියට සුනාමියකට අහුවුණු ගානටම...... ඉතිං මේ ඒ කම්පනය සහ කැමැත්ත අතර මගේ සිතුවිළි දෝලනය.... 
මෙහෙම ලියන එක , රසවිදින්නට බාදාවක් යන්න මගේ හැගීම. කවියකට , ලියවිල්ලකට පුළුවන්නම් කියවන්නාගේ වෙන්න එයයි සාර්ථකත්වය... තැනින් තැන මතුවන කුකුස නිසාම මට හිතුනා කවියක් කියන්නෙත් , ලියවිල්ලක් යන්නත් අතර නිහඬ සිතුවමක කැ ගසන නිහඬ  වන කතා කරන නොකරණ ලකුණු මහ ගොඩක් රචකයාට ත් වඩා පාඨක සිතුවිළි වලින් මැවෙන බව පෙන්වන්න. ඇත්තටම රචකයෙකුට වඩා ඒ නිසාම පාඨකයා නිර්මාණශීලි..... 

මේ ලියමන, අති දක්ෂ චිත්‍ර ශිල්පිණියකගේ අදහසකින් මං ඉවර කරනවා... ඇය  අතින් නිමැවුණු හරි ලස්සන සිතුවමක් දිහා දින ගණනක් බලා ඉදලා මං ඇහුවා "මෙහි පාදකවූ සිතුවිල්ල කුමක්ද" සරල සුන්දර හිනාවකින් අය මට පිළිතුරු දුන්නා... "මා කරන්නේ විවිධ වර්ණ සමබරව යොදා ගැනීම පමණමයි....." (හැබැයි ඒ වෙනකොටත් මම ඒ සිතුවමේ උඩ රට නැට්ටුවන් ද තව කෙනෙක් ballet එකක්ද දැක අවසන්... :) )

මේත් එවන් නිමවුමක් 


නිර්මාණයක  අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද අයිතිවිය යුතුය......
එහෙම හිතන 
මං 
හ්ම් එරන්දී.....

Thursday, August 18, 2016

නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

උඩවළව ජලාශය 
සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

කතාවෙකි හිත පිරිමදින
බැල්මෙකි සෙනෙහෙ උතුරන
රැවුමෙකි ගත සලිතවන
බර්මියුඩාවෙකි මසිත කිමිදෙන

උවම් සොයනට නුඹට සරි කිසිත් නැති
සෙනෙහෙ විදගමී එහි සැමරුම් පිරී ඇති
ඉතිං හිම පියල්ලෙකි උණුහුමද සීතලද එක ලෙස ඇති
කිසිත් කිසිදා මා අතින් ගෙන නැති

හිත රිදෙන.. හිත හදන 
සැලෙන.. නොසැලෙන 
ගැයෙන.. නොගැයෙන 
ලියන.. මකන 
හිතන.. හිනැහෙන

 ඔබ මගේම වී හිදී ගොළුව  
ගොළු මුහුදක් ලෙසින් .... :)  

ඉතිං 
මං 
එරන්දී 




Friday, August 12, 2016

ලොවට නොහැඟෙන රිදෙනමුත් සොදුරු ඇත්ත......


ඉතිං මං ලියනවා
ලිය ලියා මකනවා 
මක මකා ලියනවා 
තනිව හිනැහෙනවා

හිරිකඩට හීතලට
පණ ගැහෙන තාලෙට
ආදරෙත් පූදිනවා  හෙමිහිට
පෑළවිය  සඳ පුරන ලෙස අටවකට

ඉතිං මං අහනවා
ආදරේ මට දැනෙනවා
ගව්  ගණන් දුර ගෙවනවා 
හුස්ම පොදකට ඔබ දුවනවා

අපි අපේ දැයි නොතැවෙන 
අපි අපේ මැයි දැනෙන
වරු ගණන් අහිමිවන 
අපේ හිත් වලත්  ආදරේ උපදින

ආදරේ උපද්දන 
සොදුරු මායාවක් වැන්න
ඉතිං හිනැහී ඉන්න 
මං ලකුණු නොතියාම ඉන්න...

රැයේ අඳුරෙන් හිනැහෙන 
අතැඟිලි  නොගැටී ගැටෙන 
හිරුට දොස් නොකියන්න 
ඉතිං අපි අපේදැයි නොහිතන්න 

ඉර හඳට දුරමුත් 
එකම අහසක ලං නොවනමුත් 
සඳ දිලෙයි රහසින් මුත් 
සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත් 

ඉතිං ලතැවිලි කුමට 
ඉඩ එපා සුසුමකට 
ඒ වගෙයි කතාවක ඇත්ත ඇත්තට.......




මං එරන්දී  :)


Sunday, August 7, 2016

මං හරියටම දන්න දේ ඒ උනාට ලියාගන්න බැරි දේ .....

ඇත්තමයි මට තියෙන්නේ මාර පොඩි මොළයක්.... ඒ හින්දා මං වැඩිය ඔය මොළේ වෙහෙසෙන විදිහේ වැඩ කරන්නෙම නැ ....

ඇ  මොකද්ද කිව්වේ...?? ආ අපි ඕක කලින්ම දන්නවා කියලද...?? අප්පා කියන බොරු...............

ඒ කථාව දැන ගන්න නම් ඔයාලා අනිවාර්‍යයෙන්ම අපේ තාත්තා ගෙන් ඉගෙන ගෙන තියෙන්න ඕනේ. (හහ් ආවා මෙතන)

අපේ තාත්තා ඉස්සර මහම මහ වසයිලු.. ඉතිං දවසක් ඔය මොළේ ගැන උගන්නන වෙලාවක වැරදීමකින් තාත්තට මොළය වෙනුවට කියවෙලා තියෙන්නේ "ලොකු පොලය" කියලා. ඉතිං එදා ඉදං තාත්තා "ලොකු  පොලයා" මම "පොඩි පොලයා" ඒ හින්දයි මම කියන්නේ මගේ මොළේ පොඩි කියලා... (අන්න එකයි )

ඉතිං ලොකු පොලයා සහ පොඩි පොලයා හැටියට තාත්තිගේත් මගෙත් තියෙන්නේ "Ever best crime partnership" එකක්.

තාත්තා එනකම් මට ඉස්සර නින්ද යන්නේ නැ.... එත් එක කරදර කාලෙක මගේ තාත්තා ලංකාවෙන් ගියේ මගේ දෝණිගේ වයසේදී.... ඒ අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම කරදර කාලයක්.... දෝණිට වගේ, දෝණි කියනවා වගේ 

"අම්මි ඉස්කෝලේ ගිහාම අකුරු ලියලා ලියලාආආආආ අපි හරියට මහන්සිවෙනවා අම්මි... ගෙදර ඇවිත් කාටුන් බැලුවමනේ බබලා Relax වෙන්නේ "

එහෙම හිතනවා තියා රුපවාහිණියක් ක්‍රියාත්මක කරන්නවත් නිදහසක් නැති, කරත් මරණ බයෙන් හිටපු කාලෙක මම දෝණිගේ වයස පහු කලේ. හැම තැනම ලේ දැකපු ලස්සන කොලපාට ගස් වෙනුවට පිච්චිච්ච කරවෙච්ච ලේ විසිරිච්ච පාර තොටවල් දැකපු මගේ පුංචි කාලේ , තාත්තා රටෙන් පිටවුනේ තාත්තාගෙන් ගුටිකාපු , පොඩි ළමයි මට මගේ තාත්තව නැති කරන්න පොරොන්දුවුනු බව දැන ගත්තම. 

එහෙම ගෙවුණු ඒ ජිවිතේ ආයෙත් නිදහසේ නිදාගත්තේ අවුරුදු දෙකකින් තාත්තා ලංකාවට ආවම. අවුල් වෙලා තිබ්බ පුංචි හිත ටික ටික තරුණ වුනේ අම්මට හොරෙන් තොසේ කඩවල් ගානේ ගිහින් තාත්තත් එක්ක කන්න පුරුදු වෙනකොට. රට වටේ පෙන්නන Stage Drama බලන්න යන කාලෙක, තාත්තා ඇහුවා "සරත්චන්ද්‍රයන්ගේ " "සිංහබාහු" වලින් පස්සේ මගේ දෝණි කවදාවත් ගල්ලෙන බිදගෙන යන්නේ නෑ නේද කියලා.... එතකොට මට අවුරුදු 15යි.... තාත්තා නිතර නිතර "ගල්ලෙන බිදලා.. ලෙන් දොර ඇරලා " කියන්න පුරුදු වුනා... තාත්තා තරම් ලස්සනට සිංහයාවත් එක කිව්වේ නැ.. ඇත්තමයි...

මං කවදාවත් ඒ පොරොන්දුව කැඩුවෙත්  නැ.... 

ගිණි ගත්ත වට පිටාවක තාත්තා මාව හැමදාමත් මහ ගහක හෙවන දීලා ආදරෙන් ඇති දැඩි කළා...  

ජිවිතේ කියලා දුන්නා කවදාවත් මට ඉගැන්නුවේ නැ.... කෙල්ලෙක් උනාට කිසිම බරක් නැතුව හැදුනු මට සැළලිහිනියේ කවි පාඩම් කෙරෙව්වේ තාත්තා යන එන ගමන් මාත් එක්ක තරඟෙට  කවි කියලා. සමහර දවසට තාත්තට වරදිනවා මම හිනාවෙනවා.. තාත්තා මාව පොරොන්දු කරගන්නවා ඒ ගැන කාටවත් නොකියන්න.... නොදැනම, පොතක් අතේ තියන් වරුවක් පාඩම් නොකළ මං සිංහල වලටත් D ගත්තා (සිංහල වලට D තිබුනට මගේ පොස්ට් වල අකුරු වරදිනවා.. ඔව් ඉතිං හා හරි මට වරදිනවා )... අද මම, මගේ දෝණිටත් ඔය දේම කරනවා , දැන් මං දන්නවා තාත්තාට වැරදුනේ නැ...  

තාත්තා හැදුවේ එක දුවෙක් විතරක්, නෙවෙයි මගේ දුව දුවෙක් කරන්නත් අඩිතාලම තාත්තා දැම්මා...... 

තාත්තා  අමරණිය වෙන එකක් නැ.....  එත් අදටත් තාත්තා මට ජිවිතේ කියා දෙනවා..... 

ඉතිං ඒ දුව , නිවන් දක්නා ජාති දක්වා තාත්තා මගේම තාත්තා වෙන්න කියලා  නම් ප්‍රාර්ථනා කරන්නේ නැ.... මේ අසාර සසරේ මගේ තාත්තා පුළුවන් තරම් ඉක්මනට ජාති ජරා ව්‍යාදී දුකින් අත්මිදේවා.... එහෙම හිතන්න තරමට හිත හයිය කලේ  මගේ තාත්තා.....


ලියන්නට හිත බලකරන 
ලියා අඩුවක් වෙතැයි
නොලියැවෙන 
ඔබ ගුණ 
තුංග පහන් ටැඹ අභිමුව 
කවි කෝදුව කෙටියි.....

තාත්තා 






ඔව් ඒ දුව 
මම එරන්දී 

Tuesday, August 2, 2016

යශෝදරා , කුවේණිය සහ ප්‍රේමය

අකුරු එක දෙක 
ඇහිදලා  
ජිවිතේ ඉන් අකුරු  
කරනෙමී  
යශෝදරාවත දෝතින්ම 
ගෙන 
කාවෝ කෑ තැනින් දිග 
හැර 
සුසුම් සුළගින් දුලි 
පිසලමී  
දැවුම් කන නාස් පුඩු 
අගින් 
වෙවිළුම් ස්වරයෙන් බිඳෙන  
ඉකියක
හදවතේ දුක 
සිහින් ස්වරයෙන් 
ගයනෙමී 
තිබු තිබු තැන 
මල් පිපෙන්නැති 
කටුක  ගිරි දුර්ග 
ඇසිල්ලෙන් පසු කර යමී....
මලක් වී පිදෙනු බැරි වී 
කුවේණිය වී මියැදෙමී 

මං
එරන්දී 

Monday, August 1, 2016

ඉතිං ඔබ මුතු කැටයක්.....

නැගෙන බිඳෙන  රළ අතර 
අතහැරෙන ගිළිහෙන 
අහිංසක හිතක් 
දුක් විඳ රකී
ආදරයක්  
මුතු කැට
ආදරයක් 

ඉතිං අඬන්නැති  
අඬන්නට  කදුළු නැති 
අඬන්නට ඉඩක් නැති 
ඇඬුවත් කදුළු එන්නැති 
හිතක දුක් ගිණි 
දුක් විඳ රකී 
ආදරයක් 
මුතු කැට 
ආදරයක් 



පාට වැටෙන්නේ 
රවුම් වෙන්නේ 
ස්පටිකයක්, 
වටිනාකම් 
වැඩි කරන්නේ 
හැබෑම 
ආදරයක් 

ඔව් ඔව් 
මෙලෝ රහක් නැති 
මං 
එරන්දී