Thursday, February 16, 2017

ආසියාතික ගැහැණු හිතක උපන් කුකුස....


ලියකම් වැලක 
හිරවුණු 
හඳට ඇස් ගසා 
රැයේ අඳුරට දිළුනු 
චන්ද්‍රකාන්ති නූණු... 
වැලි කැටයක් 
නුඹ 

මොනාලීසා 

නමට ඩාවින්සිගේ 
කලාකිරිඤ්ඤයක්  වුණු 
බවතුන්ගේ මනකල් 
අංගම් සටනකදී 
කළ විකල් 
නුඹ 

මොනාලීසා 

පොප්ලර් රෙද්දක 
තෙල් සායම් පැල්ලම් 
අස්සේ 
අවුරුදු හතරක්ම 
ඇත්තටම 
හිටියේ 
නුඹම ද

ලා ජියෝකොන්ඩා 

නුඹේ හැඟුම් 
ගුප්ත ද 
ගෑණු කොහොමත් 
ගුප්ත ද 
හැබෑටම අපිටත් පිස්සු ද 
"ලීසා ජෙරඩිනි"
නුඹත් කතා කරපන් 
ඇයි මොනාලීසා විතරක් 
නුඹ ලඟින්ම 
"මුසේ ඩි ලුවර්" හී......? 


ඇත්තටම කතා කරන්න බැරි ද......
හිතන 
මං එරන්දී

පසු සටහන  - ලා ජියෝකොන්ඩා යනු 16 වන සියවසේ දී ලියනාඩෝ ඩාවින්සි විසින් ආසන්න වශයෙන් වසර හතරක පමණ කාලක් තිස්සේ "පොප්ලර්" රෙද්දක් මත තෙල් සායමෙන් සිතුවම් කරන ලද ලොව "වැඩිම නරඹන්නන් පිරිසක් ආකාර්ශනය කළ, ලොව වැඩි වශයෙන්න් මතවාදයට ලක්වූ , ලොව විවිද බසින් ගීත ලියැවුණු , ලොව වැඩිම හාස්‍යට ලක්වූ , ජීවමාන වූ චරිතයක ප්‍රති-ජීවමානව සිතුවම් කළ  උඩුකය ආලේක්‍ය සිතුවම" ලෙසින් විරුදාවලි ලත් මොනාලීසා මෙහි කතානායිකාවයි. 1797 වසරේ සිට පැරිසියේ මුසේ ඩි ලුවර් කෞතුකාගාරයේ , ප්‍රදර්ශනයට තබා ඇති මෙම සිතුවම,  ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ  ගේ බිරිද වන ලීසා ජෙරඩිනී ගේ සිතුවම ලෙස සැලකෙන අතර මේ දෙදෙනෙකු ලෙස ද තවත් තැනෙක එකම කෙනෙකු ලෙස ද මත පවතී. කෙසේ වෙතත් මුසේ ඩි ලුවර් හී ලියනාඩෝ ඩාවින්සිගේ ම සිතුවමක් වන  Saint Mary with the Child Jesus Christ is sitting on the lap of Saint Anne අසලින්ම මොනාලිසා ද තැන්පත්කර තිබිණ. 
සැ.යු . තොරතුරු පරිවර්තනය කර ගත්තේ මෙතනින්, මිට අමතරව උසස් පෙළ චිත්‍ර විෂය ඉගැන්වූ ,  නිතරම මගේ මනසට අළුතින් හිතන්නට නිදහසදුන් දයාබර මොරින් විජේසිංහ ගුරුමවටත් ස්තුතීවන්ත වියයුතුය යන්න මගේ හැඟීමයි.  


34 comments:

  1. අනේ මන්දා නගේ උඹ ලියන කවි කියවපුවාම මටත් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. :) :) ඇත්ත කුරහන්ට ත් පිස්සු තමා නැත්තම් මේවා කියවයි ද..?? බොහොමත්ම ස්තුතී මාව කියවනවට

      Delete
  2. මමත් පාසල් යන දවස්වල ගතවෙනා මොහොතක්ම පාසා
    හැඩත් දමමින් ඇන්ඳමුත් එම රුවේ තිබුණේ ගොඩක් දෝසා
    තවත් නම් නැත හිතේ ඩාවින් සිගේ සිතුවම් වලට ආසා
    අදත් හොයනව කල්පනා කර කවුරුදෝ මේ මොනාලීසා........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැම
      නළලතකම
      ඇහි බමක ම
      ඇහැ ක
      නහයක
      තොලක
      කෙස් ගහක
      සත්තයි
      පුදුමයි
      ගණු කොච්චර නම්
      සිතුවම් උනත්..
      පුදුමයි
      ඩාවින්සි
      ඒ ඔක්කොම
      එකම අච්චුවේ...
      ඇත්ත කියපන්
      ඩාවින්සි
      උඹ දන්නේ
      එකම ගැණියෙක් නේ ද...?
      නැත්තම් ගැණු කව්රුත් එක ද..?

      මට නම් හිතෙන්නේ අන්තිමට ඔච්චරයි දුමී...

      මට සතුටු දුමී ලස්සන කවියක් ලියපු හින්දා විතරක්ම නෙවෙයි , කලාව සම්බන්ද බොහෝ මත වල දී දුමිත් මමත් හිතන්නේ බොහොම කිට්ටුවට. ඒ නිසා ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. ස්තුතී දුමී

      Delete
  3. ඔව් ඇත්තටම
    මමත් පෙම් කලා
    ඩාවින්සිගේ මොනාලීසාට
    හැබැයි ඒ ,
    වර්මීර්ගෙ ග්‍රීට් දකිනකන් විතරයි
    මොනාලීසා වගේද
    ඒ ,
    මුතු කරාබුව පැළදි අහිංසකාවිය
    ඒ කතා කරන ඇස්
    ඒ පොපියන තොල්
    ඒ පිස්සු වට්ටන බැල්ම
    වර්මීර්ව උමතු කල බව දුටුවෙ
    ට්‍රේසී ෂෙවලියර්
    ඒ ඔයා විතරමයි

    ඩාවින්සි මොනාලීසාට පෙම් කලාද
    ලීසා ජෙරඩිනි ට පෙම් කලාද
    කවුද දන්නේ ?
    කවුද කියන්නේ ?
    ඒත් වර්මීර් ග්‍රීට් ට පෙම් කල බව කවුද නොකියන්නේ ?

    ඔයාගේ මේ හොල්මන්ද පොල්කොල කවි කියවලා මටත් මෙහෙම හිතුනා අනේ හි හී, හැබැයි ඔයානම් මෙයාලා ගැන ගොඩක් දෙවල් දන්න පාටයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කැමති
      හාරා අව්ස්සන්න
      නොදන්නා මලමගුල්
      කාලේ කකා හොයාගන්න
      හරියට මං වගේ :)
      මුතු කරබුවේ දිස්නෙට
      පොපියන දෙතොලට
      වර්මීර් පිස්සු වැටුණට
      ඩාවින්සි
      මොනාලිසගේ
      හිනාව අස්සේ
      සියවස් ගානක් තිස්සේ
      අපි ඇන්දුවට
      සත්තයි
      එල්ලෝරා ගුහා අස්සේ
      බයිසන් ගවයෝ රැල අස්සේ
      සීගිරියෙ ගල මත්තේ
      අන්න තියෙනවා
      යතාර්ථය
      පුදුම හිතෙන....

      :) :) මාත් දන්නේ නැ සඳු.... මේක මේ හැමෝම දේශපාලනය , ආගම , ජාතිය වගේ ලොකු ලොකු දේවල් හොයනකොට කතා කරනකොට මං කියලා නිකන් ඉදල හරියනවා ද ඉතිං මං හොයනවා කලාව ගැන භාෂාව ගැන අන්න එකයි :) :) :)

      Delete
    2. කවි නම් ඉතිං සොඳුරුයි , දුමී තමයි.... ඇත්තමයි සොඳුරු ඔය කවි කමනම් පිනක්...

      Delete
    3. ඔන්න ඉතින් මුරුංගා අත්තේ තියන්න එපා දුමියවයි මාවයි කඩන් වැටෙයි බරට.

      Delete
    4. යථාර්ථය තියෙනවා අපි අස්සෙම...වර්මීර් වත් ඩාවින්සි වත් නෙවෙයි... එතන තියෙන්නෙ උන්ගෙ මනුස්ස හැඟීම්...ඒක ඔයාට මට වඩා වෙනස්..ඒත් නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ ඇරියස් එක්ක.. ඇරියස් නැති කොට නිර්මාණ නැහැ ...

      Delete
    5. @Sonduru අනේ නෑ හොඳ කොස් අත්තක තියන්නේ වැටෙන්නෑ :) :)

      Delete
    6. Perfect උත්තරයක් කොච්චී. මටත් තියෙන චෝදනාවක් නේ මගේ මනුස්ස හැඟීම් හෙවත් නිර්මාණ වැඩිහරියක නිමිත්ත පැහැදිලි නෑ කියන එක. ඉතිං දෙයියනේ ඔය කියන විදිහට කරොත් ඒක නිර්මාණය ක් නෙවෙයි වාර්තාකරණය ක් වෙනන්න ඉඩ වැඩියි නේ..?
      බොහොම ස්තුති කොච්චි :)

      Delete
    7. නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ ඇරියස් එක්ක.. ඇරියස් නැති කොට නිර්මාණ නැහැ ඕන් ඒකටනම් මාත් එකඟයි

      Delete
    8. ඇරියර්ස් කතාවට මාත් එකඟයි.....

      Delete
  4. හිත උළුක් වෙලා ගියානෙව...!
    නොතේරෙනකමට වෙන්ටෑ...!
    ආයෙත් ඉස්කෝලේ යන්න වෙනවා මේ ලමයා ලියන දේවල් කියෝගන්න ( තේරුංගැනිල්ල කෙසේ වෙතත්...)...!

    ReplyDelete
    Replies
    1. Archi මං ආයෙත් කියවලා බැලුවා අකුරු වැරදිලා ද කියලා :)
      මං හිතන්නේ ඔබ අනිවාර්යයෙන්ම සියැසින්ම මේ මොනාලිසා පින්තුරේ දැකලා ඇති ?

      Delete
  5. කවියත් මොනාලිසා වගේ එරන්දි
    භාගයක් තේරෙනවා
    භාගයක් තේරෙන් නෑ
    කව්ද ඇත්තට ඔය නම් වලින් අමතලා තියෙන උදවිය

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී රස්ති මතක් කලාට , කමෙන්ට් එකට කලින් ඒ අඩුව හැදුවා. වෙලාවක් ලැබුනාම කියවලා බලන්න.
      ස්තුතී ඔබට :)

      Delete
    2. කියෙව්වා.වටිනවා හැදින්වීම.

      Delete
    3. බොහොම ස්තුතී රස්ති. ඔබ නිසාම අළුත් මුහුණුවරක් ලැබුනා මේ නිර්මාණයට. ඔබ බොහොම පැහැදිලිව කිව්ව නිසා අපැහැදිලි තැන නිවැරදි කරන්න පහසු උනා.

      Delete
  6. මම ලුව්ර ගියපු කාලෙ නම් මොනාලිසාගේ තනියට ජීසස් සහ මේරි පින්තුරෙ තිබ්බෙ නෑ. ඒ වෙනුවට මොනාලිසා ඉස්සරහ මියුසියම් එකේ සිකුරිටි දෙන්නෙක් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි හැලපතුමෝ , ආරක්ෂක හේතුන්මත අර හේතුව මේ හේතුව මත දැන් තියෙන්නේ තනියම තමයි. මට සතුටුයි ඔබතුම හැබැහින්ම මොනාලිසා බහදැකපු එකට.
      ඊටත් සතුටුයි මෙහේ ආවට කාලෙකට පස්සේ. බොහොම ස්තුතී..

      Delete
  7. මට එක දෙයයි තේරුනේ, පිරිමි කවුරුත් එකයි, තමන් කැමති ගෑනියෙක්ව පින්තුරේක හරි හිරකරගෙන ඒ ගෑනිව විඳින්න මිනිස්සු කැමතියි..

    ReplyDelete
    Replies
    1. දුර්වල පිරිමි....ඔයා නියම පිරිමි දැකලා නැහැ.

      Delete
    2. දෙන්නගෙම අදහසට එකඟයි, පිරිමි විතරක් නෙවෙයි ගෑණුත් එහෙමයි. හැබැයි විමුක්තිය ඉල්ලන මිනිස්සුන්ට හැමදාම අමතක උනා, විමුක්තිය ඉල්ලන කෙනාගේ අයිතිය උල්ලංඝනය උනේ තමන් අතින්මයි කියන එක. අන්න ඒ නිසාම අයිතිය , විමුක්තිය පැත්තකට දාලා නිදහසට නිදහස දුන්නාම සැනසීමෙන් හුස්මගත්තහැකි. :)

      Delete
    3. නගාගෙ කතාව හරි....

      කොච්චියෝ, මේ දවස් වල ලියන්න හරිම කම්මැලි, නැත්නම් ඔයාගේ කමෙන්ටුවට මට ලියන්න පුළුවන් බ්ලොග් පොස්ටුවක් ම උත්තර විදියට...

      හැම මහාද්විපයකින්ම ආපු පිරිමි ගෑනු දෙගොල්ලම දැකල තියනවා...

      ආත්මාර්ථය නැති තැන නියම ප්‍රේමයක් නැහැ...අපි හැමෝම තමන් ආදරය කරන කෙනාව, කොතැනක හරි හිර කරනවා...ඒ වගේම අපි ඒ දේ අපේ පාට්නර් ගෙනුත් රහසින් හරි බලාපොරොත්තු වෙනවා....නිදහස කියල කෑ ගහල ඉල්ලුවට, ඒ නිදහසට සීමාවක් නැති උනොත් එතන ප්‍රේමයක් ඉතිරි වෙන්නේ නැහැ...ඉතිරි වන්නේ එකට ජීවිතය විඳින දෙදෙනෙක් නෙවේ...එක වහලක් යට ඉන්න නවාතැන් කාරයෝ දෙන්නෙක්...

      ඔය හිර කෙරිල්ල බොහොම සුන්දරව, අවබෝධයෙන් කරන්න පුළුවන්...ඒකෙ සීමාව නොදැන කරද්දී තමයි ජිවිතේ අපායක් වෙලා තමන්ට,තමන්ව නැති වෙන්නේ...

      මෙතනදී මම අදහස් කරන්නේ පිරිමියෙක්ට හෝ ගෑනියේකුට, තමන් ආදරේ කරන කෙනාගෙන් යම් මට්ටමක සොයා බැලීමක්, රැකවරණයක් අවශ්‍යයි කියන එක ...එහෙම නැති හැම ගෑනීම මිනිහම රහසින් ඒ දේ ප්‍රාර්ථනා කරනවා, නැත්නම් නුල කැඩුන සරුංගලයක් වගේ ඔහේ පාවෙනවා...රට වටේ නටල ගයලා එද්දී ගෙදර තමන් වෙනුවෙන් හුස්ම ගන්න කෙනෙක් ඉන්නවා කියල හැඟීමක් මිනිහෙකුට දැනෙන්න ඕනේ...අන්න එතන තමයි මම ඔය කියපු හිරවිල්ල තියෙන්නේ...

      ඒ හිරවිල්ල අනත්ගාමි නොවෙන්න නම් සෑහෙන ලොකු අවබෝධයක් සහ ගැලපීමක් ඕනේ...

      අනිත් එක කොච්චි කවි ලියන, අඳින සිංදු කියන, කතන්දර ලියන හැමෝටම පුළුවන් තමන් කැමති ආත්මයක් බොහොම සුන්දර විදියට අකුරු අතරේ, පින්සල් අතරේ හිර කරලා රමණිය වින්දයක යෙදෙන්න...එහෙම එව්වෝ ජිවිත කාලය පුරාම ආදරේ කරනවා...විඳිනවා...



      Delete
    4. අක්කි කම්මැලිකම අත් ඇරලා ලියන්නකෝ, එතකොටයි සංවාදයක් ගොඩනැගෙන්නේ

      Delete
    5. අන්න ඕක තමයි නියම උත්තරේ ... ඔය වගේ එකක් වෙනුවෙන් තමයි මම අර වගේ කමෙන්ට් එකක් දැම්මෙ... දැන් ඔයාම බලන්න ඔයාගෙ මුල් කමෙන්ට් එකයි දැන් එකයි කියවලා... ඌරු හොටයි බූරු පිටයි වගේ නෙවේද...
      ඔයාගේ අන්තිම ප්‍රකාශය අති ප්‍රායෝගිකයි වගේම පුද්ගල කේන්ද්‍රීය නැහැ ..විශ්වීයයි... මුල් එක නිකන් අහක බලන් ගහපු ගලක් වගේ... ඒ නිසා තමයි මාත් අහක බලන් ගලක් ගැහුවෙ...

      Delete
    6. කම්මැලි කමට ලියපු උත්තරයක් මුලින්ම එක...ඔයාගේ කමෙන්ටුව දැක්කම අහක බලන් යන්න බැරි උනා...නරකම නැහැ ඒ වැඩෙත්....උරු හොටයි, බුරු පිටයි :)

      Delete
    7. හොඳ සංවාදයත්, හොඳ සංවාසයත් මිනිසා කුල්මත් කරවයි සහ ජීවත් කරවයි. සංවාද සිදුවීම වැදගත්. අනිත් එකත් එහෙමයි :D

      පොකුරුගේ දීර්ඝ පිලිතුරට එකඟයි.

      Delete
    8. @අරුණ , :) :) අයියා ඉතිං experience එක්ක කියන නිසා හරියටම හරි ඇති

      Delete
  8. කවිය කියවලා ටිකක් අන්දබූත වෙලා පහලට යද්දි ඒකෙ පැහැදිලි කිරීම කරලා තිබුනා නෙ...
    ඇත්තෙන්ම ඒ සටහන වටිනවා...කවිය වගේම

    ReplyDelete
    Replies
    1. :) විසිරි ඒ ඇගයීම අයිතිවෙන්න ඕනේ රසිති ට, මොකද එයා තමයි කලින්ම කිව්වේ මීක අන්දබුතයි තේරුම් කරන්න කියලා. වැඩේ කියන්නේ මුලදී මං හිතාගෙන හිටියේ කට්ටිය මං ලියන සමහර දේවල් තේරෙන්නේ නැ කියන්නේ විහිළුවට කියලා. එත් දැන් නම් කියන්නේ ඇත්තටම කියලා මටත් හිතෙනවා. සමහර විට මේ විෂයයන් ඒ තරම් ජනප්‍රිය නැති නිසා වෙන්න ඇති. මිට පස්සේ මේ වගේ දේවල් ලියනකොට පසු සටහනක් එකතු කරන්නම්
      බොහොම ස්තුතී විසිරි

      Delete
  9. මොනා ලීසා ඇඳල තියෙන්නෙ පොප්ලර් රෙද්දක නෙවෙයි පොප්ලර් ලෑල්ලක (On a Poplar wood panel)

    ReplyDelete
  10. කවි ටිකයි කොමෙන්ට් ටිකයි ඔක්ක්කොම මාරු.
    /නුඹේ හැඟුම්
    ගුප්ත ද
    ගෑණු කොහොමත්
    ගුප්ත ද
    හැබෑටම අපිටත් පිස්සු ද //

    ReplyDelete