Monday, January 30, 2017

යුද්දෙට නැති කඩුව අමාරුම නම් " TELL IN සිංහල PLEAS" නොකියා කීමටය......


මේ බස හෙළ බස
සු'බස මවන රස රැස 
දෙසයැ හෙළ, 
දිගත සුපතළ...
රසය රසකිදයැ රස
මුව වික විකා 
වහරනකොටැ... 
ඒ රට රැටියන

"සකස්කඩ"
ELOCUTION යැ 
දුහුණන්ට...
ඒ බස මළ බසයැ 
කී උගතුනේ 
සමනළයා ය සමනලයා වීයැ 

එකල් හී 
හෙළයා හෙලුවෙන් යැ 
තතන තතනා 
රඟන රැඟුමේක 
හෙළ හෙරලියැ 
නොදිර ඉතිරියැ
තවමැ  
විළියෙන් යැ 
කුස අග කෙළවර යැ 
සැඟව....

අහෝ 

අරුමෙකි යැ 
මැද සාලයේ 
ගල් වංගෙඩිය 
පිත්තල සෙම්බුය 
ගම් ගෙවල 
පිළිකන්නේ යැ....

එහෙව් හෙළයින් යැ
රා මතේ මතින දිවෙනැ  
එ'හිමිසඳු වැඩි මඟට 
පිළිපන් නාලාගිරියායැ  
පිරිත් පැන් වඩනකොට 
අනේ "සාධු"යැ 
තියනකොට හු මිටි යැ 
රජා මරා වහරන බසිනැ.....  :)  

ඒකත් ඔන්න ඔහේ කියලා දැම්ම 
මං 
එරන්දී 


Wednesday, January 25, 2017

මතයට වාදයක් හෙවත් මතවාදයක්

මතයක් - "ප්‍රේමයට 
නිකැළැල් 
සිතා.."


ඉතිං 
කතා කරපං 
රාවනා,
කුඩා හැඩයා 
මහා හැඩයා 
රිටිගල 
ජීව උයනේ 
ඉපදුවට 
දඬු මොණරේ 
ගිහිං  
සුපර්ණකාගේ 
නහයට 
සීතා ගෙනාවට 
ඔඩ්ඩ්ස තන්ත්‍රය  
කුමාර තන්ත්‍රය 
ලිව්වට
ලංකා දැහැන
සාරංගා 
රාවන හත්තෙන් 
වැයුවට 
සීතා සීතා එළියේ 
එක්කං ගියාට 
කෝ කොහේද 
වාල්මිකී..! 
දැන් ඉතිං 
කාලේ හරි
හංගපු පිටු අතරින් 
මදාර මල් සුවඳ  
 එලියට ගනින්
දසිස් බල රාවන

රිටිගල

නිකං හිතුනට ඇහුවේ 
මං එරන්දී ...

Monday, January 23, 2017

ඔබට සිත ආදරේ කරයි....

ලියා මැකු 
පද දහසෙක 
නුඹ සිටියා 
දොඩමළු වී.... 
කතා කරන 
සිතුවිල්ලෙක
නුඹ සිටියා
මගේ ළඟින්.... 

ඇවිත් යන්න
 ආ දවසක
නුඹ සිටියා 
සෙනෙහෙ සිතින්.... 

යළි නාවත් 
නොහඩන්නට

තියා ගියා 

සුවඳ ළගින්.... 


ඒ ආදරේ
   මං
   එරන්දී 






Wednesday, January 18, 2017

ෆුල් මා....(ර්)....වලස් - 24*7

කෙටි කතාවක 
නව කතාවක                       
ඇත්තෙම 
අසම්මතයක 
හැට-හතර මායමක 
අට-අනුවක් ව්‍යාධීමය...

සින්දුවක 
ටෙලියක 
ඇත්තෙම 
හන්දියක 
පාරක 
හොටු පෙරන සීන්මය.....

පාරක 
තොටක
යන්නෙම 
කඩවසම් බනුවක 
රස කතාවක 
වයරින් වෙලාමය........  
  
කහ ඉරක 
තනි ඉරක 
ඕවර්ටේක් කරන්නෙම 
තත්පරයක 
ඉක්මණක  
අපායට අත වනාමය......

පත්තරයක 
ප්‍රවෘතියක 
ඇත්තේම 
ප්‍රකෘතියක 
විකෘතියක 
දෝලිත ජිවිතමය 

මීවිතක 
රසවිතක 
උතුරන්නෙම 
කන-කරෙක
උගසෙක 
රස දැනෙන තිත්ත කාඩියමය......


ඒ රස දැනෙන 
මං 
එරන්දී මය......

Sunday, January 8, 2017

මම මං වගේ :)

මම උපතින් බෞද්ධය... ඒ අම්මා සහ තාත්තා උප්පැන්නයේ සටහන් කරවූ නිසාය. එත් වරදින්නේ නැතිව මට අද කිව හැක්කේ පන්සිල් පද පහ පමණක්ය. 
පොඩි කාලයේ මට හවසට බුදුන් වඳින්නට  අම්මා කියා දුන්නාය. ටික කලක් මා එය කරගෙන ගියේ ගාථා උච්චාරණයට සහ එහි ශබ්ද රසය ට ප්‍රියකළ නිසා විය යුතුය. එහෙත් ටිකෙන් ටික මට එහි ගැටළු ඇතිවිය. 
*මැටියෙන් සැදු  රූපයකට ඇයි අපි වඳින්නේ..?? 
හිතේ ශ්‍රද්ධාව ඇතිකරගන්න, අම්මා මට පිළිතුරු දුන්නාය..
ඉතිං අම්මේ ශ්‍රද්ධාව ඇතිවන්නට මට රූපයක් ඕන නැ..
එදා සිට අම්මා මට බුදුන් වඳින්නට මතක් නොකලාය.

අ.පො.ස. සා/පෙ සඳහා බුද්ධාගම විෂයක් ලෙස හැදෑරු පසු අද වනතුරු ඒ පිළිබද කිසිදු හැදෑරීමක් මා කර නැත. ඉතිං පහනක් පුජා කරන ගාථාවද මට මතක නැත. ඉතිං මං ප්‍රාර්ථනා කරන්නේ 

*මේ පහනේ ආලෝකය පැතිරෙන්නේ යම්සේද ඒ ලෙසින් මාගේද අන් අයගේද ඥාණා 'ලෝකය දැල්වී සොබාදහම අවබෝධ කරගනිත්වා කියාය. 

ඒක දේව වාදයද , බහු දේව වාදයද ,සරණ යාමද වන්නාවූ අනේක විදි වන්දනාමාන පදනම් වූ ඇදහිලි මා අනුමත නොකළද ; කෝවිලක, පල්ලියක , පන්සලක , දේවාලයක ඉදිරිපිට පුජාවට්ටියක් බැරිමරගාතේ උස්සාගෙන ඔබට ද ඉදහිටෙක හෝ මා  දකින්නට ලැබිය හැක.... 


ඒ සොබාදහමද බෞද්ධ දර්ශනයේද ඇසුර ලද මා ඔබේ ඇදහීම ට ගරුකරන බැවිනි. ඊටත් වඩා "හුටා එතකොට දැන් ඔයා නිරාගමික ද " යැයි හිනැහෙන ඔහුට සහයෝගය දැක්වීමටය :)


කුඩා කළ සිට මා ලද සැපය වුයේ , නිදහසේ සිතන්නට ද නිදහසේ ප්‍රශ්න කරන්නට ලද නිදහසය. නිදහස නොලබන්නා කූඩුවෙන් එළියට පැන පණ නහගන්නා කිරිල්ලියක් වැන්න . වරදින්නට ද හරියන්නට ද අත්හදා බලන්නට ද උත්සාහ කරන්නටද අත්හැර දමන්නට ද දරුවෙකුට නිදහස උවමනාය. 

*බල්ලෙකු කූඩු කරන්නේ ඒකා  ඉබ්බගාතේ ඇවිදිනවාට ද කව්රුන් හෝ පැන සපා කෑ විට ඊට වන්දිගෙවන්නට ද කූඩු කර හදනා විට අහල පහල මොකෙක්වත් ගේ ලඟින් යන්නට බය වන හින්දා ද ගොඩේ බල්ලෙකු උව රට බල්ලෙකු ලෙස හංගා ගෙන හැදිය  හැක යන කරුණු මතය. ඊටත් වඩා ඒකා යන එන අහුමුළු වල දුවන්නට කල්වේලා නැති නිසාය. ඉතිං ඔහේ හිටු කියා දරුවන් හදනවාට වඩා බලුතඩ්යෙක් හැදීම සාධාරණය.  


මේ සියළු ලියවිලි දෝණි ට ලෝකය දකින්නටය 
මේ මට හිතෙන හැටිය... ඒ මගේ හිතේ හැටිය.. හිතේ හැටියට මා ලියන්නේ විවාහය යනු වැට බඳිනු බැරි හිතට එබෙමින් හතර මායිම් සෙවීම නොවන බව දන්නා ඔහු නිසාය. මේ මා සොයා දැනගත් මගේම හිතය. වැඩිහිටියෙකුට නැමෙන හිසක් අම්මා ද තාත්තාද මා තුල ගොඩනගා ඇත. ඉතිං මා ඔවුන්ට ණයගැතිය....  එහෙත් මගේ දෝණි යනු මගේ උවමනාවට මා හැදු බෝනික්කිය.. ඉතිං ඇය කවදාවත් මට හෝ ඔහුට ණයගැති නොවිය යුතුය.
එහෙම හිතෙනවා ඇත්තේ 
මං එරන්දී 
හින්දා වියයුතුය :)
                                                                                     

ප.ලි. මා මේසේ ලියා තබනුයේ මා වාසනාවන්තයකු බව හඟවන්නට නොව මෙයින් උත්තේජය ලබා කෙනෙකු හෝ නිදහස්ව හිතන්නට ද තමන් ගේ මෙන්ම සහෘදයින්ගේද නිදහස් සිතුවිළි වලට ගරු කරන්නට ද පොළඹවනු පිණිසය. 

Tuesday, January 3, 2017

හරි ඉතිං අදත් 2017 තමා...


ලියන්නට නම් කරුණු කාරණා  එමටය.. 
එහෙත් ලියන්නට කාල වේලා නැත්තේය 
එතරම් ම busy ය.....
එහෙත් ඔය කියනා තරම්ම busy ක් ද නැත්තේය ..
ඕනෑ තරම් යන එන අතර මඟ වේලා ඇත්තේය..
එහෙත් ඕප දුප බලන්නට ඇද කුද හොයන්නට ඕනෑය...
ඉතිං රිය කව්ළුවෙන් බෙල්ල එලියට දා CO2 හුස්ම ගන්නේය...
ඒකේද පොඩි jolly යක් නැත්තේම නැත්තේය...
කියනා තරම් මං සද්ගුණවත්ද  නැත්තේය 
ඉතිං මට ද ආසාවල් පහල වන්නේය 
ඒ අතර මේවා ද  දකින්නේය 
අමාරුවෙන් අඩි උස පැළද දුවන අම්මලාය 
පොඩි එකා කහ ඉර උඩ බෙරිහන් දෙන්නේය 
එවිට මට කේන්ති යන්නේය 
රියෙන් පැන පොඩි එකා එගොඩ කරන්නේය 
ඒ අතර "අඩි උස" වරද පෙන්නා බන්නින්නේය 
මට ඔය වැඩ හුරු නැතිය 
එහෙත් nail point ගෙදර ගොඩ ගසා ඇත්තේය       
ඉතිං මට ඊර්ශ්‍යා නැත්තේ නැතිය.... 
මේ දකින නෝනලා මට බණිනවා sure ය.. එකට කම් නැත මාත් බැරි මරගාතේ ඕවා දමන්නේය.. කොරවක්කකු ලෙස කොට කොටා යන්නේය... බැරිකමට සෙනෙහෙ පෙන්නා අළුත් මනමාලි වී ඔහු ඇගේ එල්ලෙන්නේය.. තරු හෝටලෙන් බැස සපත්තු අතේ දාගෙන එන්නේය.... ඒ මමය මම ගොඩයෙක් නිසාය... Posh නෝනලා එසේ නොවේය.. ඉතිං තරහා අවසරය 
මේ සියල්ල වන්නේ දවස ගානේය 
ඉතිං දවස් ගෙවෙන්නේ ඊට ඕනෑ තාලේය...
දවස් ගෙවී 2016 ද ගෙවිලාම ගියේය 
මෙන්න 2017 ඇවිල්ලාය 
හැමෝම Happy 2017 කියන්නේය 
එත්  මං 04 වෙනිදා Happy 2017 කියන්නේය  
මගේ චූටි අක්කාට Happy Birthday කියන ගමන්ය...
ඉතිං වැඩි වැඩියෙන් බර සාර බ්ලොග් ලියවේවාය 
තව අළුත් බ්ලොග් ද පහල වේවාය..!!
චූටි අක්කා තරම් කිසි අක්කෙක් jolly නැත්තේය 
මට සපත්තු මතක් වන්නේ ඉබේටය 
ඒ මං අදටත් අක්කාගේ සපත්තු හොරකම් කරන හන්දාය..
ඉතිං තව තවත් සපත්තුම ලැබේවායි මං පතන්නේය...!!
ඒ 
චූටි අක්කගේ 
මං එරන්දී හින්දාය....