Saturday, October 21, 2023

කාලය කෙතරම් සොඳුරුද?

 කොහේ හරි අද සාදයක්. ඇත්තටම කිව්වොත් දැන් සාදයේ ඇහෙන්නේ සාජ්ජයක්. අපරාදේ කියන්න බෑ ශ්‍රැතිය උනත් පිහිටලා ගයන ගැයුමක්. අනුන්ගේ වගක් අපිට මොකට ද කිව්වාට කන දික්කරගෙන අහගෙන ඉන්න එක එක්කෝ ගැහැණු ගතියක්. එහෙමත් නැත්නම් රස්සාව නිසාම ආව පුරුද්දක්. 

ඒ කොහොම කිව්වත් මේ වෙලාවේ මං එරන්දී කරන්නෙත් තමන්ව සාධාරණීකරනය කරගැනීමක්. එක අතකට, කවුරු නැතත් තමන් ට තමන් හරි ඉන්නවා කියන හැඟීම ජීවත් වෙන්න කෙනෙකුට ලොකු උත්තේජයක්. දවස ගානෙ කොයි තරම් නම් පිරිසක් එනවා ද හොයාගෙන එහෙම බලාපොරොත්තුවක්? ඒක සරල මං එරන්දිගේ ජීවිතේ වෙනස්ම මානයක්. ඇත්තටම කිව්වොත් වෙලාවකට මං එරන්දී කියන්නේම රහස් ගිලින කළු කුහරයක්. 

ඔය කිව්වාට මං එරන්දී දන්න නෑ මහා විසාල විද්‍යාවක්! ඇත්තටම ඒක ඇත්තක්. 

හිත කියන්නේම මහා සිතුවිලි පඹගාලක්. සාජ්ජයක ගීතයක් අහගෙන කෝපි හදාගන්න ආව මං එරන්දී අන්තිමට හදාගන්න තියෙන්නේ  උණුසුම් චොක්ලට් කෝප්පයක්! අනේ මෙහෙමත් අවසිහයක්! ඇත්තටම එතන උනේ වෙන වැරදීමක්. දවල් ඉදලා තට්ටයාගේ කොලමෙන් ආවේ අහක දාන්න බැරි ඉල්ලීමක්. අනේ කොහොම හරි අද දාන්න බ්ලොග් පෝස්ට් එකක්. අනේ මොනවා ලියන්න ද හිත හිතා කෝපි වෙනුවට දාගත්තෙ චොක්ලට් පවුඩර් හැන්දක්. මහා ලොකුවට රටේ ලෝකෙ මිනිසුන්ට කිව්වාට සිහිය ගැන කතන්දර මහගොඩක්. සත්තයි ගුරුන්ටත් අකුරුවරදිනවා මේ එහෙම වෙලාවක්. කොහොමින් කොහොම හරි බැල්කනියට එද්දි ඇහෙන්නෙ අපූරුම ගීතයක්... 

සොඳුරියේ... කාලය කෙතරම් නපුරුදු... 


අපි ගෙවාගෙන ආවේ කතාවෙලා දුව දුවා බ්ලොග් ලිව්ව කාලයක්. ඒත් අද, අපිටත් නොදැනීම අපෙන් ම ගිලිහුණු ඒක ලස්සන මතක අතීතයක්. එහෙම කියද්දී ඔන්න මතක් උනා පණ්ඩිත කතාවක්. ටිකක් ලාවට විතර සයිකොලොජි තියරි බැල්මක් වැටුනු කවුරු දන්න කතාවක්. තේරෙන විදිහට කිව්වොත් අපි කොයිහැටි බඳාගෙන හිටියත් ඕනෙම දෙයක් අපිටත් නොදැනීම අත ඇරිලා යන වෙලාවක්. එහෙව් අත් නොහැරීමත් කෙනෙකුට ඇති මානසික නොහැකියාවක්. එහෙව් නොහැකියාවක් හැබෑම මරණීය වේදනවාක්. එහෙමයි කියලා මං එරන්දී ගෙන් ඔබ තමුන්නාන්සේලා දැන් කිව්වොත් හොඳයි එහෙනම් දෙන්න කියලා උත්තරයක්!

මං එරන්දී අදටත් දෙන්නෙ එදා දුන්නා වගේම උත්තරයක්! ඔන්න කම්මැලි නැත්තන් කියවන්න මෙන්න තියරියක්..

Decay Theory - Edward Thorndike 

ආයුබෝවන් මෙන්න වැන්දා සන්තෝ 

ඔන්න පක්ෂ නෙවෙයි මං එරන්දී මාරු උනා 🙏

Tuesday, May 11, 2021

නිදහස

 සිහිනය සොඳුරු

නිදි අවදි මොහොතකය

හැබෑ වූ දා පටන් 

හීන හරි ගොරහැඬිය


එළිය අඳුරෙන් 

නෙලා ගනු කුමකට 

තරු උනත් ලස්සනම

අහසේ දිළෙනා විටය


කුස පුරවා ඇමට පණුවන්

බිලිබානා වරල් සළනා 

රන්වන් මාළුවන්

ගොඩට ආදා නොවෙද නිම

බැබලෙනා හද ගැහෙන

සොඳුරුම ප්‍රේමයන්!

මං

එරන්දී


Sunday, November 3, 2019

හඳක් කී කතාවක්


දවස් ඇත්තෙම නැද්ද 
තරු පිරිවරපු හඳට ත්
ඉද හිටෙක තනිකම දැනෙන
ඝන'ඳුර ට මුවාවෙන් 
සඳත් ඉකිබිඳ හඬන
                                                                විසල් අහසක උනත්
පුර හඳත් වකුටුව,
 අටවකට යන දවස්
දුක හිති ගුලිවෙලා
අමාවක රැයක් දී
"තරු එක්ක අහස"
 තනි කරනා දවස්...
මං 
එරන්දී 

Wednesday, February 13, 2019

Nobody can be blamed

මිෂන් එකක්
ඇතුලේ
විශන් එකක් 
රෙවලූශන් එකක්
එක්ක 
බයලොජිකල් නීඩ් එකක්
ඒ වෙනුවෙන්
පෙනී උන්නූ
වැලන්ටයින්
මුණිවරයෙක්...
  කතන්දර සියවස් ගණනක් අස්සේ
ඉස්සර ආදරේ තිබුනේ, 
හවසක
වෙරළක
අකුලක
අඳුරු මුල්ලක
සිනමා හලක

දැන් 

ආදරේ
උතුරන්නේ
රූම් වල
උත්කර්ශය ට 
නැගෙන්නේ 
ෆ්ලශ් වන වැසිකිලි වලක

ඉතිං එය සමරද්දී
සත්තයි
අපි 
අහු උනේ
ට්‍රොජන් අශ්ව ඇමකට...

Nobody can be blamed,
The generation gap is just a shield 
to hide what happened yesterday,  
a cover for today 
& survival for tomorrow. 
මම 
©බුද්ධිකා එරන්දී ජයසිංහ 

Friday, February 8, 2019

Couple in front of the Buddha Statue
William Henry Koerner 1878-1938

පෙම්වත!
නළල ත කෙලවර
බල නහරයක මැද
සියුම්ව තෙරපා
පළල් තොල් මැදින්
නුඹ දුන්නු හාදුවක
රිද්මය තවත්
හදවතෙහි ගැටේ..
සීරුවට ඉගිළු
දෑ සමන් පෙත්තකට
මංචාඩියක් වැඩි, බර වචන
අහම්බයකින්
මෘදුව කම්පිතවී
කන් බෙරය සලිතව
ඔබේ හඬ
ගැඹුරකින් තව ඇසේ..
ක්ෂණය ක හමුව
ආදරේ යැයි පැවසූ
එසැණින් ම නික්මුණු
ඒ හදිසි ප්‍රේමයට
මන්ද, මතකය මෙතරම්ම ගැති

පස්මහ බැලුම් මඟ         හැරුණු
ග්‍රහ තරුවලට මඟ         වැරදුණු
පෙම්වත අපි අපිට මඟ   හැරුණු
ප්‍රේමයකි සිත පතුලෙ ම    මිදුණු!
©බුද්ධිකා එරන්දී ජයසිංහ

Thursday, October 18, 2018

අපි මිනිස්සු


රාගය උතුරන්නෙම 
කලපුවේත් හරි මැදය 
ස්නේහය ගලන්නෙම 
ලතාවට ගඟක හරි සීරුවටය
ඒත් අපි දුවන්නෙම 
හෝ ගාන පොකුණටමය.. 
ඉසියුම් වැලි ඉහින 
මට සිළිටු වෙරළටය 
සැනෙන් පියවර මැකෙන
පෙණ ගහණ කරදිය සුවඳටය.. 
ආදරේ හොයන්නෙම 
chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය 
ජිවිතේ වරදින්නෙම
කොටු ඇතුලේ අඳුරු කාමරවලය
ජිවිතේ සුන්දරම
වරදින තුරුමය.... :)
මං 
එරන්දී  

Tuesday, October 9, 2018

ගලක් අරං එන්ට!


ගිරි හෙල් මත 
මල් පීදුව 
කුවේණියට 
ගල් ගහපු
රාම-ලක්ෂ්මන  
එක්ක වන වැදුණු 
සීතාට 
මල් තියපු 
රාවණට පණ පෙව්ව 
මන්දෝදරී 
වළදාපු 
පඬු පුරය
ගිණිලෑ ව 
කන්නගී ට 
දේවාල හදපු 
කිරි දානයට 
බුලත් නොදුන්නු 
කිරි නො'රු 
අම්මාට 
පද හදපු 
ඇත්තටම 
මං එරන්දී අපි 
මාරයි!
ප.ලි.-අනිවාර්යයෙන්ම අහන්න   සිංදුව ගැන හෝඩුවාව සිංදු අනෝ ගෙන්.