Tuesday, February 20, 2018

ආත්මාර්ථකාමී


 ඔව් මං කිව්වේ 
ආත්ම+අර්ථකාමී  :) :) 
ඇත්තටම ජිවත් වෙන හැම තත්පරයකටම මම මටම වටිනාකම් එකතු කරනවා, එකතු කරගන්න උත්සාහ කරනවා. හිස්කබල පුරාවට පැතිරුණු මොළය නම් මාංශලයට මට සාපේක්ෂ හොඳ සහ නරක අතර ගවේෂණයකට ඉඩ දෙන්න මං වඩාත් කැමති. 
ඉතිං මේ හැම අකුරක්ම ලියවෙන්නේ ඒ ලැබුණු ඉඩෙන් ඉතුරු උනු සාරය. 
ඔය කියන ගවේෂණයට පොතකින් පතකින් වගේම අන්තර්ජාලය පුරා විහිදෙන නොගිනිය හැකි තරම් අවකාශයන් එකතු කරන්නේ අමිල සේවයක්. මම ලියන්නේ මට නැවත කියවන්න... අළුත් සිතුවිලි-අරමුණු හොයාගන්න..... ඒ දැනුම අදහස් තවත් කවුරුන්ම හෝ පරිශීලනය කරණු දැකීමත්, ලැබෙන ඇගයීමත් ඇත්තටම උත්තේජයක්. 
(එහෙම නැ කියනවා නම් ඒ ප්‍රලාපයක්. ප්‍රලාපයක් නෙවෙයි නම් දිනපොතක ලියලා පොත් රක්කයක හෝ වර්ඩ් වල ලියලා වන්ඩ්‍රයිව් එකේ තියාගන්න එපැයි. හා නැද්ද මං අහන්නේ?)

ඒ අතරින් බ්ලොග් ලිවිල්ල හරිම ප්‍රගතිශීලි. මොක ද ප්‍රතිචාර ක්‍ෂණිකව ලැබෙන නිසාම බුද්ධිමය සංවාදයකට නිරන්තර ඉඩක් ලැබිමත් ලොකු වටිනාකමක්. 

මේ ප්‍රතිචාර ගැන කතා කරන කොට ලැබිය හැකි ප්‍රතිචාර විවිධයි. එය විචාරයක සිට විවේචනය දක්වා දිවෙන්නට ඇති ඉඩ වැඩි. ඒ වගේම ලියන්නා ගේ අදහස කියවන්නා ගේ ද අදහස වියයුතුමයි කියන තැන නම් අපි ඉන්නේ එක හරි අහම්බයක්... 
මේ තියෙන්නේ මගේ එවැනි නිර්මාණයක්  

රසවින්දනය  ගැන කාලෙකට ඉස්සර ලියවුනු ලිපියක්.

මේ සියළු අදහස් අතරේ අප සියළු දෙනා ලියන්නේ ආත්ම+අර්ථය සඳහා නම් කියවීම ද එකී අර්ථයම ගනී. 

ඉතිං අපි ලියමු-කතාකරමු 
ආත්ම+අර්ථය සඳහා 
මං 
එරන්දී  








Tuesday, February 13, 2018

අපේ වැලන්ටයින්

සත්තයි...
හිතුනු වාර අනන්තයි 
අනේ අපිටත් 
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක් 
තිබුණා නම් 
අපි අපිම වෙනුවෙන් 
පොඩි එකී 
පනිනකොට මැද්දට.....

යමුද රවුමක් 
හලලා පුන්චිත්තිව 
බොරු මොකට ද 
සත්තයි 
අපි කතා උනා 
දෙතුන් පාරක් 

අපිට හරි හිරිහැර 
හුස්මක් 
ලගින් ඉන්නට නැ ඉඩක් 
හරි ඉරිසියා කාරියක් 

ඒත් 
නුඹ නොවුන්නා නම් 
අපිටත් තිබුණා 
ඉම්පෝර්ට් කරන්නට 
වැලන්ටයින් දවසක්
එහෙම 
හිතන 
අම්මා 
මං 
එරන්දී