Friday, June 2, 2017

මගේ Politics


ඡන්දයක් ලංවන විට නිල් පාටින් ද කොළ පාටින් ද වාද විවාද කරගන්නා අම්මා ද තාත්තා ද එයින් නොනැවතී කෑම මේසයේ අහක බලාගෙන කන පුංචි අම්මලා සහ බාප්පලාගෙන් ද සැදුම් ලද පවුලක ඉපදී හැදීවැඩුන මට අදට ද පුදුම වන්නට කාරණාවක් වන්නේය. එනම් ලොකු අම්මා , අම්මා සහ පුංචි අම්මලා කැපුවත් කොළ වූ අතර ලොකු තාත්තා, තාත්තා සහ බාප්පලා එක හෙලාම නිල් වන්නේ කෙසේ ද යන්නය..
න්ද පොළට යන තුරු වෙන වෙනම වාහන දෙකක යන නෝනලා සහ මහත්තුරු න්දය ප්‍රකාශකර එන විට අහුවෙන වාහනයේ නැග එන්නේ ප්‍රථිපල බලන්නට උවමනා කෑම බීම සපයා ගැනීමටත් ඒවා රැගෙන අම්මලාගේ මහ ගෙදරට හැකි ඉක්මනින් ලගාවනු පිණිසත්ය.
කැවිලි වර්ග වල සිට කට ගැස්ම ද රාත්‍රී ආහාර යේ සිට උදැසන ආහාරය දක්වා ද කොට්ට මෙට්ට වල සිට දත්බුරුසු දක්වා ද සියල්ල පටවාගෙන යන අප එකල අසල්වැසියන් දකින්නට ඇත්තේ ගම් රට අතහැර යන පිරිසක් ලෙසින් වියයුතුය. පොල් පටවාගත් විවිද වර්ගයේ වෑන් රථ පහක් එක මිඳුලක ගාල්වන්නේ වෑන් සෙල් එකක සිරිය මවමින්ය. අහිංසක වාහන වල අතුරු සිදුරු නැතිව ගෙවල් වල උදවියද කණකර ආභරණ වල සිට කන් හැන්ද දක්වාද පටවාගෙන එන අපේ අම්මලා මොන තරම් සංවිධානාත්මක ද කිව්වොත් එකෙකුගේ හෝ කිරිබෝතලක් නැත්තම් ළදරු කිරිපිටි ටින් එක අමතක කර ඒම පරම්පරාවේ සිරිතක් ලෙසින් නොකඩවා කරගෙන ආ අතර එවිට shift ක්‍රමයට මාරුවෙන් මාරුවට බලහත්කාරයෙන් උඳුරා ගනිමින් ගෙදර පොඩි එකාගේ කිරි බෝතලයෙන් පවුල් පහේම පොඩි එවුන් කිරි බීවේ තුං සිංහලයම නෑදෑයෝ බව මතක් කරමින්ය.
ඉතිං එය එසේ වියයුතුය , විවිද පළාත් වල ඉපිද හැදී වැඩි ඇති මුත් ලොකු තාත්තාගේ සිට චූටි බාප්පා දක්වා සියල්ලෝම බිව්වේ එකම ලේබලයේ නැටුන් තෙල් වන අතර එය ද පස් දෙනා සමඟින් එක බෝතලය රැ එළිවෙන තුරු යන මාත්‍රාවෙන් ය. ඒ නිසා පොඩිවුන්ද එකී ආදර්ශය සිහියට ගත යුතුම විය.
න්දය බලන්නට රැස් වන අම්මලා පැමිණෙන්නට නියමිත විවාහ උත්සව ගැන ද පස්දෙනාම එකම පාටින් හෝ බෙනාරිස් හෝ මනිපුරී ගෙන්නනවා ද ගිහින් ගන්නවා ද වැනි බරපතල කාරණා සිය අවදානයට ගන්නා අතර පස්දෙනාගේම හතුරන් සමඟ හවුලේ තරහා වීම ට අවශ්‍ය කෙටුම්පත් සකස්වන්නේ ද ඔය අල්ලපනල්ලේය.
මහ ගෙදර පදිංචිව සිටි සුදු අම්මා හෙවත් අම්මගේ ලොකු නංගී මං හිතාගෙන හිටියේ අපේ අම්මාගේ නිවුන් සොහොයුරිය ලෙසිනි. පෙනුමෙන්ද ගතිගුණ වලින් ද ඇය බෙහෙවින්ම අපේ අම්මා ම විය. සුදු අක්කා ද මගේම අක්කා වූ අතර බාප්පා රට රට වලින් ගෙන එන සියළු පාට පැන්සල් මං හිතුවේ මට ද අයිතියි කියාය. ඉතිං න්දෙ බලන්නට යන අප සුදු අක්කාගේ පාට, පොත් පමණක් නොව ඇඳුම් ආයිත්තම් ඇද Fashion Show ද කළේය. සුදු අම්මගේ මිල අධික Makeup උලාගන්නා නිශා අක්කා සහ මම රුකඩ වගේ පෙනුන බව බාප්පලා විසින් අපේ අනාගත සුබ සිද්ධිය සඳහා වීඩියෝ සහ චායාරූප ලෙසින් සංරක්ෂණය කර ඇති නිසා තක්කෙටම කිව හැකිය.
රාත්‍රී නවය පමණ විට කෑම මේසය පිරෙන්නට විවිද කෑම ද තේ පෝච්චි පිරෙන්නට කෝපි ද පුරවා ගන්න අම්මලා ද සාලයට පැමිණෙන්නේ කාඩ් කුට්ටම්ද රැගෙනමය. හෙළයේ ගීත කෝකිලාවන් වන ලොකු අම්මා ද අම්මගේ දෙවෙනි නංගි ද සිය අත්බෑගයේ හී නොවරදින ගීත පොත් එලියට වඩම්මනා මුත් අනුකූලතාවක් නොවන තැන යලිත් මළුවලට ඔබාගන්නේ අන් අයගේ නොහැකියාව ට දෙස් දෙමිනි.
මේ සියළු සුදානම් අතරේ බඩට පටාවා ගත හැකි උපරිමය ගිලගන්නා ළමයි අපි ඉදිරිපෙළ මෙට්ට පැදුරු වල වැටී පසඟ පිහිටුවා රූපපෙට්ටියට අනිමිසලෝචන පූජා පවත්වන අතර රාත්‍රී දහය පසුවන විට විවිද ඉරියව්වෙන් එකාපිට එකා සමාදිගත වීම ද  සම්ප්‍රදායේම කොටසකි.

එතනින් නිමාවන අපේ ඡන්ද ප්‍රථිපල නිරීක්ෂණය ගැන අදට ද කිසිම මතයක් මට පලකළ නොහැක්කේ අදටත් අපේ පරම්පාරාවේ මගේ දෝණිගේ සිට සහෝදරසහොදරියන්ගේ දරුවන් හා තවම Fashion show කරනා මම අපේ ලොකු අක්කාගේ Makeup උලා පොඩිවුන්ගේ පිංතුර ගනිමින් කාලය ගතකර කා බී ඉදිරිපෙළ මෙට්ටයක දහය පහුවන විට එකම සමාදිය තවම වඩනා  බැවිනි.
එය එසේ වුවද පසුදා රාජකාරි වලට මුහුණ දීමට ඇති නිසා මහ පාන්දර ඇහැර ගන්නා අපි පොඩි set එක මවගේ බසින් වහරන්නට දන්නා අප කැපුවත් අම්මලාගේ පැත්ත ගෙන තාත්තලාට අම්මලා කියනා කතා වලින්ම උසුළු විසුළු කරගනිමින් එලියට පැන සෙල්ලම් ගෙවල් වල පදිංචියට යන්නේය. මේ අතර මට මතක ඉතිහාසයේ ආණ්ඩු පෙරළුණු දා සුදු අම්මාට ප්‍රෙෂර් වැඩි වූ බව නම් හොඳටම මතකය.
මට චන්ද අයිතිය හිමිවන විට අම්මගේ පැත්ත ගන්න ද තාත්තාගේ පැත්ත ගන්න ද යන දෙගිඩියාවෙන් උන් මම පළවෙනිම න්දය අවලංගු කර ගෙදර ආවේ දෙමව්පියන්ට අකීකරු වන්නට නොහැකි නිසාය..
එකී චන්දය වන විට අපේ ලොකු අක්කා ඇතුළු පවුලේ සියළු ලොකු අක්කලා අයියලා විවාපතව හෝ වැඩිදුර අධ්‍යපානය සඳහා රටින් පිවගොස් සිටි අතර ඒ සිට අද දක්වා සියල්ලෝම එකට චන්දය බැලූ කාලයක් මතකයේ නැත.... එහෙව් මගේ දේශපාලනඥානය මෙතරම් සියුම් සහ විනිවිධ හා තර්කානුකුල බවින් ද සමන්විත වීම පාඨක ඔබගේ ඉමහත් පුදුමයට හේතූ නොවණු ඇතැයි තරයේ විශ්වාස කරනා
මං
එරන්දී 

ප.ලි. මෙය කලින් ලියා තැබූ පොස්ටුවක් වන අතර ලියන්නට තරම් හිතට නිදහසක්ද නැත. හිතට දැනෙන වෙහෙස මඟහරවා ගනු පිණිස ම මෙය පලකරමි

4 comments:

  1. අපේ ගෙදර ඕකෙ අනිත් පැත්ත.තාත්තගෙ පැත්ත කැපුවත් කොළ, අම්මාගෙ පැත්ත කැපුවත් නිල්. අපේ තාත්තගෙ මහ ගෙදරට ඒ කියන්නෙ ඔය දැන් අපි ඉන්න ගෙදරට අම්මලගේ කට්ටිය කිව්වෙ සිරිකොත කියලා. හැබැයි ෆුල් ප්‍රජාන්ත්‍රවාදී තත්වයක් තිබ්බෙ. එකට ගිහින් දෙපැත්තට දාලා එනවා. අපේ අම්මාගෙන් මන් එක පාරක් ඇහුවම මේ පාර කාටද දෙන්නෙ කියලා. අම්මා කිව්වා මතකයි කිසිම දවසක චන්දෙ දාන පැත්ත වෙනස් කරන් නෑ කියලා කිසිම හේතුවක්ටත්.ඒ කාලෙ පුදුම තද අදහස් දැරුවේ... ඒත් මේ වෙනකොට පහුල් වල අනිත් අය කෙසේ වෙතත් ඔහුන් දෙපළම චන්දයෙදි ඉතාමත් බුද්ධිමත් විදියට චන්දය දෙනවා පක්ෂ පාට බලන්නෙ නැතිව. ඒ වෙනස මට හිතාගන්නවත් අමාරු තත්වයක්. කොහොම වුනත් වැදගත් වෙන්නෙ ශ්‍රී ලංකාවේ දේශපාලනය අමු ජාරා ගොහොරුවක් බව ඔහුන් පසුකාලීනව හෝ තේරුම් ගැනීමයි

    ReplyDelete
  2. මේකනම් මම හිනා වෙවී කියෙව්වේ මට නිකන් මේ ජවනිකා මැවි මැවි පේනවා වගේ.වර්ල්ඩ් කප් මැච් බලන්න මිසක් අපේ පවුල් චන්දෙටනම් ඔහොම එකතු වෙන්නෙ නෑ. එක එකා එක එක පක්ශේ.

    ReplyDelete